Tuesday, August 26, 2014

වැඩිහිටියන් අතර දක්නට ලැබෙන Type II දියවැඩියා තත්වයකදි රැධීරයේ සීනි මට්ටම අඩුකිරිම සදහා සුලභවම භාවිත කරනු ලබන ඖෂධ වර්ගයක් තමයි metformin කියලා හදුන්වන්නේ.මේ ඖෂධය පිළීබඳව සමාජය කොයිතරම් දැනුවත්ද කියනවා නම් ලොකු කුඩා හැමදෙනාම මේ ඖෂධය ගැන යම් තරමකට දන්නවා.එ නිසාම මේ ඖෂධයේ ක්‍රියාකාරිත්වය පිළීබඳ වැරදි මතයනුත් මේ අතරට එකතු වෙලා තියෙනවා.

දියවැඩියා රෝගය පිළීබදව කෙටි හැදින්විමක්............
වර්තමානයේ වැඩිහිටියන් අතර මෙන්ම කුඩා ළමුන් අතරත් සුලභවම දක්නට ලැබෙන බෝ නොවන රෝග ගණයට අයත් රෝග තත්වයක් තමයි දියවැඩියාව කියලා කියන්නේ.එ වගේම වැඩිහිටි ජනගහනය තුල ඇතිවන දීර්ඝකාලිනව අකර්මන්‍යයතාවයන් සදහා හේතුවන හෘදයාබාධ, අධිරැධීර පීඩනය,ආඝාතය,පාද අහිමිවිම්,අක්ෂී දුර්වලතා,ස්නායු දුබලතා වැනි බොහෝ තත්වයන් සදහා අංක එකෙහි පවතින හේතු සාධකය වෙලා තියෙන්නේ මේ දියවැඩියාව කියන රෝග තත්වය.

දියවැඩියා තත්වයක ප්‍රධාන ලක්ෂණය තමයි රැධීරයේ සීනි මට්ටම අසාමාන්‍යය ලෙස වැඩිවිම නැතිනම් සාමාන්‍යයෙන් පුද්ගලයකු තුල පවතින රැධීර ග්ලුකෝස් යාමන යාන්ත්‍රණයන් ඉක්මවමින් රැධීරයේ සීනි(ග්ලුකෝස්) මට්ටම වැඩිවිම.මේ තත්වය පැය 8-10 ක් පමණ නිරාහාරව සිටිමෙන් ලබාගන්නා රැධීර ග්ලුකෝස් පරික්ෂාවකින් (FBS) හදුනාගන්න පුළුවන්.
රැධිරයේ ග්ලුකෝස් මට්ටම යාමනය කිරිම සදහා සාමාන්‍යයෙන් මිනිස් අග්න්‍යාසය මඟින් නිපදවනු ලබන ඉන්සියුලින් සහ ග්ලුකගන් කියන හොර්මෝනයන් ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා.මේ අතරින් ඉන්සියුලින් වල ක්‍රියාකාරිත්වය වන්නේ රැධීරයේ ග්ලුකෝස් මට්ටම අඩුකරමින් එවා දේහ පටක තුල තැම්පත් කිරිමට දායක විම.ග්ලුකගන් වල ක්‍රියාකාරිත්වය වෙන්නේ අක්මාව වැනි අවයවවලින් ග්ලයිකොජන් බිදහෙලිම සහ ග්ලුකෝස් නිපදවිම උත්තේජනය කිරිම මඟින් රැධීරයේ ග්ලුකෝස් මට්ටම වැඩිකිරිම වෙන විදියකින් කියනවානම් ඉන්සියුලින් වලට ප්‍රතිවිරැද්ධ ක්‍රියාකාරිත්වයක් දැක්විම.

එ අනුව දියවැඩියා රෝග තත්වය කියන්නේ ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය අඩුවිම හෝ ඉන්සියුලින් නිපදවිම අඩුවිම නිසා රැධීරයේ ග්ලුකෝස් මට්ටම වැඩිවිමයි.

ප්‍රධාන වශයෙන් පුද්ගලයන් අතර පවතින දියවැඩියා තත්වයන් ආකාර දෙකකින් දක්නට ලැබෙනවා.

Type I දියවැඩියාව -- මේ තත්වයට හේතුව වෙන්නේ අග්න්‍යාසයික සෛල මඟින් ඉන්සියුලින් නිපදවිම අඩුවිම හෝ සම්පුර්ණයෙන් නතරවිමයි.එ නිසා මේ පුද්ගලෙන්ගේ රැධිරයේ ග්ලුකෝස් මට්ටම සැලකිය යුතු ලෙස වැඩි වෙනවා.මේ තත්වය සුලභවම දක්නට ලැබෙන්නේ කුඩා ළමුන් තුලයි.මේ අයට ප්‍රතිකාර වශයෙන් ඉන්සියුලින් පිටතින් ලබාදිම අනිවාර්ය වෙනවා.

Type II දියවැඩියාව --- අග්න්‍යාසය මඟින් ඉන්සියුලින් නිපදවිම සාමාන්‍යය ලෙස සිදු වුවද ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය සදහා දේහය තුල ප්‍රතිරෝධයක් පැවතිම නැතිනම් ඉන්සියුලින් සදහා වන සංවේදිතාවය අඩුවිම තමයි මේ තත්වයට හේතු වෙන්නේ.ප්‍රතිළුලය විදියට රැධීර ග්ලුකෝස් මට්ටම වැඩිවිමක් සිදු වෙනවා.මේ තත්වය වැඩිපුරම දක්නට ලැබෙන්නේ මැදිවයසේ සිටින වැඩිහිටි ජනගහනය තුලයි.මේ තත්වය සදහා ප්‍රතිකාර කරනකොට රැධිර ග්ලුකෝස් මට්ටම අඩුකරන ඖෂධ මෙන්ම ඉන්සියුලින් එන්නත් කිරිමත් සිදු කරන්න පුළුවන්.

Metformin සහ එහි ක්‍රියාකාරිත්වය........

Metformin කියන්නේ රැධීරයේ ග්ලුකොස් මට්ටම අඩුකිරිම සදහා භාවිත කරනු ලබන පෙති නැත්නම් Oral hypoglycemics- Bigunaides කියන ඛාණ්ඩයට අයත් වන ඖෂධ වර්ගයක්.විශේෂයෙන්ම Type II දියවැඩියා තත්වය සදහා ප්‍රතිකාර කිරිම සදහා තමයි බාවිත කරනු ලබන්නේ.

Metformin වල ප්‍රධාන ක්‍රියාකාරිත්වය වන්නේ ග්ලුකෝස් පරිවෘත්තිය සදහා දායක වන අක්මාව,මේද පටක සහ පේශීන් තුල ඉන්සියුලින් සදහා වන සංවේදිතාවය වැඩිකිරිමයි නැත්නම් ඉන්සියුලින් ප්‍රතිග්‍රාහක ක්‍රියාකාරිත්වය වැඩිකිරිමයි.එ අනුව Metformin වල ප්‍රධාන ක්‍රියාකාරිත්වයන් පහත පරිදි දක්වන්න පුළුවන්....
  • අක්මාවෙන් ග්ලුකෝස් නිපදවිම අඩුකිරිම 
  • ආහාර මාර්ගයෙන් ග්ලුකෝස් අවශෝෂණය අඩු කිරිම
  • ඉන්සියුලින් ක්‍රියාකාරිවන අවයවයන් තුල ඉන්සියුලින් සදහා වන සංවේදිතාවය වැඩිකිරිම මඟින් රැධීරයෙන් ග්ලුකෝස් ලබාගැනිම වැඩිකිරිම

ඉහත ක්‍රියාකාරිත්වයන් මඟින් රැධීර ග්ලුකෝස් මට්ටම අඩු කිරිම සදහා දායක වුවද metformin ඉන්සියුලින් නිපදවිම වැඩිකිරිම සදහා දායක නොවේ.එබැවින් රැධීරයේ ග්ලුකෝස් මට්ටම වඩාත් අඩු අගයක් දක්වා නැතහොත් Hypoglycaemic තත්වයක් දක්වා අඩු විමක් සිදු නොවේ.

නමුත් දියවැඩියාව සදහා ප්‍රතිකාර ලෙස යොදා ගනු ලබන අනෙක් ප්‍රධාන ඖෂධ කාණ්ඩය වන Sulfonylureas මඟින් අග්න්‍යාසයික බීටා සෛලයන්ගෙන් ඉන්සියුලින් නිපදවිම වැඩි කරන අතරම කලින් සදහන් කළ අවයවයන් මඟින් ග්ලුකෝස් ලබාගැනිමද වැඩි කරනු ලබයි.එබැවින් එම ඖෂධයන් රැධීර ග්ලුකෝස් මට්ටම සැලකිය යුතු ලෙස අඩුකරන බැවින් Hypoglycaemia සදහා වන අවධානම වැඩි කරනු ලබයි.

එමෙන්ම Metformin සම්බන්ධ අනෙක් වැදගත් කරැණ වන්නේ එය ඉන්සියුලින් නිපදවිම වැඩිකිරිමකින් තොරව ග්ලුකෝස් මට්ටම අඩුකරන බැවින් දේහයේ තරබාරැබව (බර අඩුකරගැනිම) අඩුකිරිම සදහා වැදගත් වේ.ඉන්සියුලින් මඟින් ආහාර රැචිය වැඩිකරන අතරම අක්මාව සහ වෙනත් පටක මඟින් මේද සංස්ලේෂණය වැඩිකරනු ලබන බැවින් එය තරබාරැබව ඇතිකිරිමට දායක වේ.එ අනුව පැහැදිලිවන තවත් වැදගත් කරැණක් වනුයේ දියවැඩියාව සදහා භාවිත කරනු ලබන ඉන්සියුලින් නිපදවිම වැඩිකරන ඖෂධ තරබාරැබව ඇතිකිරිම සදහා හේතු වන බවයි.එබැවින් Metformin,දියවැඩියාව(Type II) සහිත තරබාරැ පුද්ගලයන් සදහා වඩාත් සුදුසු ඖෂධයයි.

තවද Metformin මඟින් දියවැඩියා තත්වයකදි ඇතිවන හෘදයාබාධ, අන්ධබාවය වැනි සංකූලතාවයන් සැලකිය යුතු මට්ටමකින් අඩු කිරිමට දායක වේ.

Metformin සම්බන්ධ අතුරැ ආබාධ.......... 
Metformin භාවිත කිරිම මඟින් ඇතිවන සුලභ අතුරැ ආබාධයන් ලෙස ආහාර මාර්ගයේ අපහසුතාවයන්(වමනය,ආහාර රැචිය අඩුවිම,උදර දැවිල්ල) දැක්විය හැකිය.
Metformin භාවිතය නිසා සුලභවම ඇතිවන අතුරැ ආබාධයක් ලෙස සලකනු ලබන්නේ වකුගඩු අකර්මන්‍යය විමයි.නමුත් මෙහිදි පැහැදිලි කළ යුතු කරැණ වන්නේ metformin වකුගඩු අකර්මන්‍යය විම සදහා දායක නොවන බවයි.නමුත් metformin දේහයෙන් ඉවත්විම සිදුවන්නේ වකුගඩු හරහා සිදුවන පෙරිමේ ක්‍රියාවලිය තුලින් බැවින් වකුගඩු ක්‍රියාකාරිත්වය අඩු පුද්ගලයන්ගේ වෘක්ක තුලින් Metformin ඉවත්විම අඩු බැවින් රැධිරයේ metformin සාන්ද්‍රණය අහිතකර ලෙස වැඩිවිමක් සහ එමඟින් වකුගඩුවලට තවදුරටත් හානිවිමක් සිදුවිය හැකිය.

එනම් වැඩිහිටි පුද්ගලයන් සදහා metformin ලබාදිමේදි ඔවුනගේ වෘක්ක ක්‍රියාකාරිත්වයට ගැළපෙන පරිදි metformin හි මාත්‍රාව තීර්ණය කළයුතු වේ.එසේම සැලකිය යුතු ලෙස වකුගඩු අකර්මන්‍යය වු පුද්ගලයන් සදහා Metformin ඖෂධය ලබාදීම සුදුසු නොවන අතර එ වෙනුවට වෙනත් ඖෂධයක් බාවිත කළ යුතු වේ.
එසේම ගර්භණී අවස්ථාවන් තුල පවතින දියවැඩියා තත්වයන් වලදි මෙම ඖෂධය බාවිත කිරිම සුදුසු වන අතර ඉන් කළලයට අහිතකර බලපැමක් ඇති නොවේ.
නමුත් මව්කිරි සමග මෙම ඖෂධ දරැවාට ලැබෙන බැවින් කිරිදෙන මව්වරැන් විසින් මෙම ඖෂධ ලබාගැනිම නුසුදුසු යැයි සැලකේ.

Metformin හි වෙනත් භාවිතයන්..........
දියවැඩියාව සදහා අවදානමක් පවතින පුද්ගලයන් සදහා දියවැඩියාව ඇතිවිම වැළැක්විම සදහාද Metformin භාවිත කළ හැකිය.
තවද කාන්තාවන් ඩිම්බකෝෂවල පවත්නා රෝග තත්වයක් වන PCOS සදහාද ප්‍රතිකාරයක් ලෙස බාවිත කරනු ලබයි.එමඟින් එම රෝග තත්වයෙන් පෙලෙන්නන් තුල පවතින තරබාරැභාවය සහ මදසරැභාවයද සැලකිය යුතු ලෙස අඩුවිමක් සිදු වේ.


0 comments:

Post a Comment