Thursday, October 23, 2014

මිනිසා සතු ප්‍රධාන සංවේදක හැකියාවක් වන ශ්‍රවණය (ශබ්ද සංවේදනය) සදහා වැදගත් වන සංවේදි අවයවය වනුයේ කණයි.කණ ශ්‍රවණය සදහා පමණක් නොව දේහ සමබරතාවය පවත්වා ගැනිම සදහාත් දායක වේ.




මිනිස් කණ බාහිර කණ,මැද කණ,ඇතුළු කණ යන ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ. 
බාහිර කණ සමන්විත වනුයේ කන්පෙත්ත,බාහිර ශ්‍රවණ නාලය සහ කන් බෙරය යන කොටස් වලිනි.කන් පෙත්ත කාටිලේජ වලින් සමන්විත වන අතර බාහිර ශ්‍රවණ නාලය තුලට ශබ්ද තරංඟයන් යොමු කිරිම සදහා වැදගත් වේ.බාහිර ශ්‍රවණ නාලය S අකුරක ස්වරැපයෙන් යුත් වක්‍රතාවයක් සහිත කෙටි නාලයක් වන අතර එ ඔස්සේ කන්බෙරය වෙතට ශබ්ද තරංගයන් සම්ප්‍රේෂණය වේ.
කන්බෙරය මැද කන සහ බාහිර කණ වෙන් කරනු ලබන තුනි ඔවලාකාර පටලයක් වන අතර බාහිරින් පැමිණෙන ශබ්ද තරංගයන්ට අනුරැපව කම්පනය විම (අනුනාද විම) මඟින් ශබ්ද තරංග මැද කණේ අස්ථි කොටස් වෙතට ශබ්දය සම්ප්‍රේෂණය කරනු ලබයි.

මැද කණ වාතය පිරි අස්ථීමය කුටීරයක් වන අතර එහි ප්‍රධාන ව්‍යූහයන් වනුයේ කුඩා කර්ණ අස්ථීකා (Ossicles) තුනකි.
මුද්ගරිකාව නමින් හඳුන්වන කර්ණ අස්ථීය කන්බෙරයේ අභ්‍යයන්තර පෘෂ්ඨයට සම්බන්ධව පවතින අතර කන්බෙරය කම්පනය විමේදි එම ශබ්දය පළමුව සම්ප්‍රේෂණය වනුයේ මුද්ගරිකාව තුලටය.
මුද්ගරිකාවේ හිස නිඝාතිය නමින් හඳුන්වන කර්ණ අස්ථීකාව සමඟ සන්ධානය වන අතර එ ඔස්සේ කුඩාම කර්ණ අස්ථිකාව වන ධරණකය වෙතට ශබ්දය සම්ප්‍රේෂණය වේ.දේහයේ කුඩාම අස්ථිය වනුයේද ධරණකයයි.ධරණකය අභ්‍යයන්තර කනේහි ඔවලාකාර විවරය (Oval window) සමඟ සම්බන්ධව පවති.එ අනුව කර්ණ අස්ථීකා වල කාර්යය වනුයේ කන් බෙරයේ සිට අභ්‍යයන්තර කණ වෙත ශබ්ද තරංඟයන් සම්ප්‍රේෂණය කිරිමයි.

ඇතුල් කණ සමන්විත වන්නේ අස්ථිමය කුහර පද්ධතියක් තුල අන්තර්ගත පටලමය කුටීර පද්ධතියකිනි.අස්ථීමය කුහර පද්ධතිය පරිවාසා තරලය(perilymph) නමින් හඳුන්වනු ලබන තරලයකින් පිරි පවතින අතර එය මස්තිෂ්ක සුෂුම්නා තරලය සමග සම්බන්ධව පවතින බැවින් එහි සංයුතිය සුෂුම්නා තරලයේ සංයුතියට අතිශයින් සමාන වේ.පටලමය කුටිරයන් අන්තෝවාසා තරලය (Endolymph) නමින් K+ බහුලව අන්තර්ගත තරලයකින් සමන්විත වේ.

ඇතුල් කණේ ප්‍රධාන ව්‍යුහයන් වනුයේ කර්ණාලින්දය,අර්ධ චක්‍රාකාර නාල සහ කර්ණශංඛයයි.ශ්‍රවණය සදහා වැදගත්වන ප්‍රධාන අවයවය වනුයේ ගොළුබෙල්ලකුගේ කවචයක හැඩයට සකස්ව පවතින කර්ණශංඛයයි.කර්ණශංඛයක හරස්කඩක් සැලකුවිට එහි ශ්‍රවණය සදහා වැදගත්වන සංවේදි පතිග්‍රාහක සෛල අන්තර්ගත කෝර්ටි අවයවය (oran of corti) පවතිනුයේ අන්තෝවාසා තරලය පිරි මධ්‍යය කර්ණශංඛ නාලය තුලයි.අන්තෝවාසා තරලය තුල පවතින K+ මෙම ශ්‍රවණ ප්‍රතිග්‍රාහක සෛල තුල ආරෝපණ වෙනස පවත්වා ගැනිම සදහාත් ක්‍රියා විභවයන් ජනනය කිරිම සදහාත් වැදගත් වේ.

කොර්ටි අවයවය මධ්‍යය කර්ණශංඛ නාලයේ පත්ල ප්‍රදේශයේ පවතින බැසිලර් පටලය මත පවතින අතර එහි ශ්‍රවණ ප්‍රතිග්‍රාහි සෛල දෙවර්ගයක් පවති.මෙම ප්‍රතිග්‍රාහි සෛලවල නිදහස් කෙළවර Stereocilia නමින් හදුන්වන ප්‍රසරයන් පවතින අතර එම ප්‍රසරයන්ට ඉහළින් හා එවාට සම්බන්ධව ටෙක්ටෝරියම් පටලයේහි නිදහස් කෙළවර පවති.

මැද කනේහි ධරණකය කම්පනය විම මඟින් ඇතුල් කනේහි ඔවලාකාර විවරය ඔස්සේ එහි වු පරිවාසා තරලය වෙතට කම්පන සම්ප්‍රේෂණය කරනු ලබන අතර එම කම්පනයන් බැසිලර් පටලය වෙත සම්ප්‍රේෂණය වේ.බැසිලර් පටලය කම්පනය විමත් සමඟ එ ඔස්සේ ප්‍රතිග්‍රාහි සෛලවල ප්‍රසරයන් ටෙක්ටෝරියම් පටලය සමඟ ස්පර්ශ වෙමින් ඉදිරියට සහ පිටුපසට නැමිම මඟින් සංවේදි ප්‍රතිග්‍රාහක සෛලයන් උත්තේජනය වේ.ප්‍රතිළුලය ලෙස සංවේදි සෛල වල පරිවාහක මාර්ගයන් විවෘත වි සෛල තුලට K + අයන ගමන් කිරිම මඟින් ක්‍රියා විභවයක් නිර්මාණය වන අතර එමඟින් ප්‍රතිග්‍රාහක සෛලවලට සම්බන්ධ ස්නායු සෛලයන් වෙතට ස්නායු සම්ප්‍රේෂක නිදහස් කෙරේ.
එම ස්නායු තන්තු එක් විමෙන් ශ්‍රවණ ස්නායුව සකස් වන අතර එ ඔස්සේ ස්නායු පණිවිඩයන් මොළයේ ශංඛක කන්ඩිකාවේ  වු ශ්‍රවණ ප්‍රදේශයන් වෙතට ස්නායු පණිවිඩයන් ගමන් කිරිම සිදු වේ.

කර්ණාලින්දය Utricles සහ Saccules නමින් හදුන්වනු ලබන කොටස් වලින් සමන්විත වන අතර මෙම ව්‍යුහයන් තුල හිසේ චලනය සහ පිහිටිම එනම් ගුරැත්ව සංවේදනය සදහා වැදගත් වනු ලබන සංවේදි ප්‍රතිග්‍රාහක සෛල (Macula) සහිත ප්‍රදේශ පවති.මෙම සංවේදි සෛලවල නිදහස් කෙළවර වු ප්‍රසරයන්ට සම්බන්ධව හා ඊට ඉහළින් ගුරැත්වයට වඩාත් සංවේදි කැල්සියම් කාබනේට් අංශු සහිත පටලයක් (otolithic memberane) පවති.හිසේ සිදුවන සිරස් සහ තිරස් චලනයන්ට(ඇල කිරිම) සාපේක්ෂව මෙම ගුරැත්ව සංවේදි අංශු සහිත තරලයේ පිහිටිම වෙනස් වන බැවින් එ සමඟ ඊට සම්බන්ධ සංවේදි සෛලවල ප්‍රසරයන්ද නැමිම සිදුවන බැවින් එම සංවේදනයන් ස්නායු පණිවිඩ ඔස්සේ මධ්‍යය ස්නායු පද්ධතිය වෙතට සම්ප්‍රේෂනය කරනු ලබයි.
එමෙන්ම තිරස් හෝ සිරස් දිශාවක් ඔස්සේ සිදුවන චලිතයකදි (සමස්ත දේහයම) එ පිළිබද සංවේදනයන් මධ්‍යය ස්නායු පද්ධතය වෙත ලබාදිම සදහාද ඉහත අයුරින්ම ක්‍රියා කරනු ලබයි.

අර්ධ චක්‍රාකාර නාල (Semi circular canals) 3 ක් එකිනෙකට ලම්භක තලයන්හි පවතින අතර එය අන්තෝවාසා තරලයෙන් පිරි පවති.අර්ධ චක්‍රාකාර නාල කර්ණාලින්දයට සම්බන්ධ වන ප්‍රසාරිත කලාපයන් තුල විශේෂ සංවේදි ප්‍රතිග්‍රාහක සෛල සහිත ප්‍රදේශ පවති.මෙම අර්ධ චක්‍රාකාර නාලයන් හිසේ සිදුවන භ්‍රමණ චලනයකදි (කරකැවිමකදි) එ පිළිබඳ සංවේදනයන් මොළය වෙත ලබාදිම සදහා වැදගත් වේ.

කර්ණාලින්දයෙන් සහ අර්ධචක්‍රාකාර නාලවල පිහිටි සංවේදි සෛලවලින් ලබාගන්නා සංවේදනයන් කර්ණාලින්ද ස්නායුව (Vestibular nerve) ඔස්සේ මධ්‍යය ස්නායු පද්ධතියේ නියමිත ප්‍රදේශයන් වෙත ගෙනයනු ලබයි.

කර්ණාලින්ද ස්නායුව සහ කර්නශංඛ ස්නායුව එක්ව ශ්‍රවණ ස්නායුව වශයෙන් මධ්‍යය ස්නායු පද්ධතිය වෙතට ගමන්කරනු ලබයි. 

කර්ණශංඛය මඟින් ශබ්දයේ සංඛයාතය (Frequency) හඳුනාගනු ලබන්නේ ශබ්ද තරංඟයන් මඟින් බැසිලර් පටලය මත වු ප්‍රතිග්‍රාහක සෛල උපරිමයෙන් උත්තේජනය කරනු ලබන ස්ථානය අනුවය.අධිසංඛ්‍යාත සහිත ශබ්ද තරංඟයන් හඳුනාගැනිම බැසිලර් පටලයේ  කර්ණාලින්ද ප්‍රදේශයට සමීපව පිහිටි ප්‍රදේශයන් මඟින්ද අඩු සංඛයාත සහිත තරංඟයන් කර්ණශංඛනාලයේ අග්‍රස්ථ ප්‍රදේශයන් මඟින්ද සිදු වේ.
මිනිස් කණකට සංවේදනය වන සාමාන්‍යය සංඛයාත පරාසය වනුයේ 20-20,000Hz අතර වන සංඛයාතයන්ය.

එමෙන්ම ඉහළ තිවුරතාවයකින් (Loudness) යුත් ශබ්ද තරංඟයන් හඳුනාගනු ලබන්නේ එම තරංඟයන් මඟින් බැසිලර් පටලයේ උත්තේජනය කරනු ලබන ප්‍රතිග්‍රාහක සෛල ප්‍රමාණය මත සහ එම තරංඟය මඟින් බැසිලර් පටලයේ සිදුවන විස්ථාපනයේ විශාලත්වය අනුවය.
ඉහළ සංඛයාතයකින් සහ තිවුරතාවයකින් යුත් ශබ්දයන් මඟින් සාමාන්‍ය මිනිස් කණකට හිතකර නොවේ.

මිනිස් කණක දැකිය හැකි සුලභ රෝග තත්වයක් වනුයේ බිහිරිබාවයයි. බිහිරිභාවය ඇති කිරිම සදහා හේතුවන රෝග තත්වයන් ප්‍රදාන කාන්ඩයන් දෙකක් යටතේ දැක්විය හැකිය.

  • සම්ප්‍රේෂක බිහිරිභාවය (Conductive deafness) - බාහිර පරිසරයේ සිට අභ්‍යයන්තර කණ දක්වා ශබ්දය සම්ප්‍රේෂණය කිරිමේ දුර්වලතාවයන් නිසා ඇතිවන බිහිරිභාවයයි.උදා - බාහිර ශ්‍රවණ නාලය කලාදුරැ මඟින් අවහිර විම,බාහිර කනේ සහ මැද කණේ හටගන්නා ආසාදන තත්වයන්,කන්බෙරයට හානිසිදුවිම
  • ප්‍රතිකර්මය වශයෙන් ශ්‍රවණාධාර භාවිත කල හැකිය.
  • ස්නායුක බිහිරිබාවය(Sensoneural deafness) - කර්නශංඛය සහ ශ්‍රවණ ස්නායුව සම්බන්ධ රෝග තත්වයන්.

වැඩිදුර කරැණු අධ්‍යයනය කිරිම සදහා පහත PDF /Power-point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.
භාගත කිරිම සදහා පහත ලින්කුව භාවිත කරන්න.

මිනිස් කණේ ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය

8 comments: