Tuesday, July 29, 2014

සත්තවයින්ගේ පරිණාමික දියුණුවේ ඉහළම තලයේ සිටින මිනිසා සතුව  අස්ථී සහ කාටිලේජ වලින් සකස් වි තිබෙන වඩාත් සුවිශේෂී සැකිලි පද්ධතියක් දක්නට ලැබෙනවා.



සැකිලි පද්ධතිය සැදිම සදහා දායක වන අස්ථී සහ කාටිලේජ සජිවි, ක්‍රියාකාරි පටකයන් වේ.......

අස්ථී යන වචනය ඇසු සැනින් අපට මතක් වෙන දෙයක් තමයි ඝනකම් තද දේහ කොටස් කියන එක.නමුත් ඇත්තටම මේ පටකයන් දේහයේ අනිකුත් සජිවි පටකයන් වගේම සජිවි සෛලවලින් සකස් වෙලා තියෙන නිරන්තරයෙන් වෙනස්විම්වලට ලක්වෙන ක්‍රියාකාරි පටකයන්.එ වගේම  මුලික සත්තව පටක කොටස් වලින් (හරජිවවිදයාව යටතේ) අස්ථී සහ කාටිලේජ අයත් වෙන්නේ විශේෂ සම්බන්ධක පටක වර්ගයට.

මිනිස් සැකිලි පද්ධතියට අයත් කොටස් මොනවාද?



මිනිස් සැකිලි පද්ධතිය ආක්ෂක සැකිල්ල සහ ගාත්‍රා සැකිල්ල වශයෙන් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා .ආක්ෂක සැකිල්ලට අයත් වන හිස්කබල ,කශේරැව,උරතලය සහ පර්ශු මඟින් දේහයේ මධ්‍යය අක්ෂය සාදනු ලබනවා.
ගාත්‍රා සැකිල්ලට අයත් අස්ථී කොටස් මඟින් දේහයේ පුර්ව ගාත්‍රා සහ අපර ගාත්‍රා සාදනු ලබන අතර එවා උරමේඛලා සහ ශ්‍රෝණී මේඛලා යන අස්ථීන් මඟින් ආක්ෂක සැකිල්ලට සම්බන්ධ වේ.

මිනිස් සැකිලි පද්ධතිය අස්ථී කොටස් 206 කින් සමන්විත වේ.
සමස්තයක් ලෙස සැලකු විට ආක්ෂක සැකිල්ල අස්ථී කොටස් 80 කින්ද ග්‍රාත්‍රා සැකිල්ල අස්ථී කොටස් 126 කින්ද වශයෙන් මිනිස් සැකිල්ල අස්ථී 206 කින් සමන්විත වේ.




මිනිස් සැකිලි පද්ධතියේ කාර්යයන් මොනවාද?

මිනිස් සැකිලි පද්ධතියේ ප්‍රධාන කාර්යය වනුයේ දේහයට සන්ධාරණයක් සහ ශක්තිමත්බවක් ලබා දිමයි.මීට අමතරව තවත් කාර්යයන් රැසක් සදහා සැකිලි පද්ධතිය දායක වේ.

  • අභ්‍යයන්තර අවයවයන් ආරාක්ෂා කිරිම
  • විවිධ දේහ චලනයන් සිදු කිරිම සදහා පේශී පද්ධතිය සමග එක්ව ක්‍රියාකරනු ලබයි.
  • Ca2+ ගබඩා කිරිම සහ නිදහස් කිරිම මගින් රැධීරයේ Ca2+ ප්‍රමාණය යාමනය කිරිම සදහා වැදගත් වේ.
  • රැධීර සෛල නිපදවිම 

සමස්තයක් ලෙස ආක්ෂක සැකිල්ල සහ ගාත්‍රා සැකිල්ල විශේෂීත කෘත්‍යයන්ට අනුරැපව සකස් වි තිබේ.

ආක්ෂක සැකිල්ලට අයත් හිස්කබල මොළය සහ වැදගත් සංවේදන අවයවයන් ආරාක්ෂා කිරිමටත් කශේරැව සුෂුම්නාව වැනි වැදගත් අවයවයන් රැක ගැනිමටත් උරතලය සහ පර්ශු හෘදය සහ පෙනහළු ආරාක්ෂා කිරිමටත් සකස් වි තිබේ.
එමෙන්ම කොදු ඇටපෙළ සාදනු ලබනඅස්ථීන් මඟින් දේහ බර දැරිමටත් එවා අපරගාත්‍රා වලට සම්ප්‍රේෂණය කිරිමටත් වැදගත් වේ.

පුර්වගාත්‍රා උරහිස් සන්ධීය මඟින් ආක්ෂක සැකිල්ලට සම්බන්ධ වුවද දේහබර දැරිමෙන් නිදහස්ව පවතින බැවින් විශාල වශයෙන් චලනය , ග්‍රහණය වැනි ක්‍රියාවන් සදහා වැදගත් වේ.
පුර්වගාත්‍රාවල විශේෂත්වය පැහැදිලි කිරිමට භාවිත කලහැකි ප්‍රධාන කරැණු කිහිපයකි.

  • උරහිස් සන්ධිය සාදනු ලබන උරමේඛලාවල ග්ලේනොයිඩ කුහරය නොගැඹුරැව පැවතිම මඟින් උරහිස් සන්ධීයට පුළුල් චලන පරාසයක් පැවතිම.
  • වැලමිට සන්ධිය ලීවරයක් ලෙස ක්‍රියාකරමින් එසවිම සහ විසිකිරිම වැනි ක්‍රියාවලට වැදගත් විම.
  • අත්ලේ මහපටැඟිල්ල සාදනු ලබන හස්තකූර්චාස්ථීය සහ පළමු අතුල් ඇටය සමඟ සෑදල සන්ධීයක් සැදිම මඟින් මාපටැඟිල්ලට අත්ලේ අනෙකුත් ඇඟිලි වලට ලම්භක තලයක චලනය විමට හැකිවිම. මෙමඟින් මහපටැඟිල්ලට අනෙකුත් ඇඟිලිවල තුඩු ස්පර්ශ කළ හැකි අතරම සියුම් දේවල් ග්‍රහණය කිරිමේ හැකියාවද ලැබි තිබේ.
අපර ගාත්‍රා දේහ බරදරා සිටිම ,ඇවිදිම වැනි චලනයන් සදහා විශේෂයෙන් සකස් වි තිබේ.එමෙන්ම අපර ගාත්‍රා වල විශේෂත්වය පහත කරැණූ මඟින් පැහැදිලි කළහැකිය.
  • අපරගාත්‍රා වල කලව ප්‍රදේශය සාදනු ලබන ඌර්වස්ථීය වඩාත් ශක්තිමත් අස්ථීයක් වන අතර එහි විශාල ගෝලාකාර ශිර්ෂය උකුල් සන්ධීය සැදිමට දායක වේ.
  • උකුල් සන්ධීය සාදනු ලබන ශ්‍රෝණී අස්ථීවල ශ්‍රෝණී කෝටරක කුහරය විශාල ,ගැඹුරැ ලෙස පිහිටන බැවින් උරහිස් සන්ධීය මෙන් විශාල පරාසයක චලනයන් සදහා නොව ස්ථීයිතාවය සදහා වැදගත් වේ.
  • ඌර්වස්ථී දේහය එහි ශිර්ෂකයකට 125` පමණ කෝණයකින් සම්බන්ධ විම මඟින් දේහ බර නිවැරදිව පාද වෙත ලබාදිමට වැදගත් වේ.
  • පාදයේ පාදකූර්චාස්ථී,පතුල් ඇට සහ පටකයන් මඟින් සාදනු ලබන තීර්යක් සහ හරස් වක්‍රයන් පැවතිම මඟින් දේහ බර නිවැරදිව පාදවෙත සම්ප්‍රේෂණය කිරිමටත් චලනයන් වලදි දේහ බර නිදහස් කිරිම සදහාත් වැදගත් වන විශේෂ පද්ධතියක් ලෙස ක්‍රියා කරනු ලබයි.
වැඩිදුර කරැණු අධ්‍යයනය කිරිම සදහා පහත Power-point ඉදිරිපත් කිරිම බාගත කරගන්න.
භාගත කිරිම සදහා පහත ලින්කුව භාවිත කරන්න.

මිනිස් සැකිලි පද්ධතිය

0 comments:

Post a Comment