Tuesday, June 3, 2014

නුතන වෛද්‍යවිද්‍යාත්මක කටයුතු වලදි රෝග නිර්ණය කිරිම සදහා  බහුලවම යොදා ගනු ලබන පරික්ෂණය ක්‍රමයක් තමයි මේ එන්ඩස්කොපි (Endoscopy)  කියලා කියන්නේ.මේ පරික්ෂණයේ මුලධර්මය තමයි දේහයේ තිබෙන විවිධ කුහරමය අවයවයන් තුලට කුඩා නලයක් මාර්ගයෙන් කැමරාවක් ඇතුල් කිරිම මගින් එහි තිබෙන අසාමාන්‍යයතා හදුනා ගැනිම සහ ජායාරෑප ගතකිරිම.එ විතරක්ම නෙවෙයි මේ උපකරණයේම තියෙන කුඩා කොටසක් මගින් මේ ආසාමාන්‍යය පටක කොටස්වල සාම්පල/නිදර්ශක ලබා ගන්නත් පුළුවන්.

එ වගේම මේ එන්ඩස්කොපි කියන ක්‍රමය රෝග නිර්ණය කරනු ලබන ක්‍රමයක් පමණයි කියලා තේරැම් ගත්තොත් එක සම්පුර්ණයෙන්ම වැරදියි.මේ ක්‍රමය බෝහෝ ශල්‍යය වෛද්‍යමය ප්‍රතිකාර ක්‍රමයන් සදහා භාවිත කරනවා.

දේහයේ විවිධ ස්ථානවල රෝග නිර්ණය කිරිම සදහා මෙම ක්‍රමය භාවිත කරනු ලැබුවත් ආහාර මාර්ගයේ සිදුකරනු ලබන එන්ඩස්කොපි පරික්ෂාව  පොදුවේ බොහෝ දෙනා අතර ජනප්‍රිය මෙන්ම බහුලව භාවිත කරනු ලබන එකක්.ඉතින් මේ පරික්ෂණයකදි කෙරන දේවල් පිළිබඳව කෙටියෙන් දැනගමු...


ආහාර මාර්ගයේ ව්‍යුහය සරලව .....
කෙටියෙන්ම කිව්වොත් ආහාර මාර්ගය කියන්නේ මුඛයේ සිට ගුදය දක්වා පවතින කුහරමය නාල පද්ධතියක්.මේ පද්ධතිය විශේෂයෙන් සකස් වෙලා තියෙන්නේ අපිගන්න ආහාරයේ තියෙන වැදගත් පෝෂක කොටස් දේහය තුලට ලබා ගැනිමට සහ අනවශ්‍යය කොටස් මළ ද්‍රව්‍යය ලෙස බැහැර කිරිමට.

ඉතින් මේ ආහාර මාර්ගයේ බිත්තිය /පටක මේ සදහා විශේෂිත අයුරින් සකස් වෙලා තියෙනවා.මෙම පටක වල යම් අසාමාන්‍යයතාවයක් සිදු වුනොත් මේ පද්ධතියේ සාමාන්‍යය ක්‍රියාකාරිත්වයට බාධා ඇතිවෙනවා. පිටින් නිර්ක්ෂණය කරලා මේ වෙනස්විම් හරියටම හඳුනා ගන්න ආමාරැයි .ඉතින් එන්ඩස්කොපි පරික්ෂාව තමයි මේකට තියෙන හොදම විසදුම....

ආහාර මාර්ගයේ සිදුකරනු ලබන ප්‍රධාන එන්ඩස්කොපි පරික්ෂන 3ක් තියෙනවා.

  • UGIE පරික්ෂාව --  ආහාර මාර්ගයේ ඉහළ කොටස් වල එනම් ගලනාලයේ සිට ග්‍රහණිය දක්වා කොටස්වල රෝග නිර්ණය කිරිම සදහා භාවිත කරනු ලබයි.එන්ඩස්කොපි උපකරණය මුඛ කුහරය තුලින් තමයි ඇතුල් කිරිම සිද්ධවෙන්නේ.
  • කොලොනස්කොපි සහ සිග්මොයිඩස්කොපි පරික්ෂාව - ආහාර මාර්ගයේ පහළ කොටස්වල එනම් ගුද මාර්ගයේ සිට කුඩා අන්ත්‍රය දක්වා වු කොටස් වල අසාමානයයතා හදුනා ගැනිමට භාවිත කරනු ලබයි.එන්ඩස්කොපි උපකරණය ගුද මාර්ගය තුලින් තමයි ඇතුල් කිරිම සිද්ධවෙන්නේ.

ආහාර මාර්ගයේ එන්ඩස්කොපි (UGIE) පරික්ෂාවක් සිදුකරනු ලබන්නේ කුමන අවස්ථාවලදිද ?

  • උදර වේදනාව සහ ආමාශගත රෝග තත්ව වලදි
  • ආහාර මාර්ගයෙන් සිදුවන ලේ වහනය විම්වලදි(ලේ වමනය)
  • රක්තහීනතාවය වැනි රෝග තත්වයන් වලදි 
  • ගිලිමේ අපහසුතාවයන් වලදි.
  • ආහාර මාර්ගයේ පිළිකා(ගලනාලයේ /ආමාශයේ) තත්වයන් වලදි රෝගයේ ස්වභාවය නිර්ණය කිරිමට
  • ආහාර මාර්ගයේ පිළිකා තත්වයන් යැයි සැක කෙරෙන අවස්ථාවලදි පුර්ව පිළිකා පටක හඳුනා ගැනිමට
  • ආහාර මාර්ගයේ අවහිරවිම් හඳුනා ගැනිම සදහා.
  • ආහාර මාර්ගයේ පටක සාම්පල ලබා ගැනිමට
එන්ඩස්කොපි (UGIE) පරික්ෂාවක් සදහා රෝගියකු සුදානම් කරන අයුරැ....

  • මෙම පරික්ෂාව සිදුකිරිම සදහා රොහල් ගතවිමක් අවශ්‍යය නොවන අතර පරික්ෂණය සිදුකිරිම සදහා ගතවන්නේ පැය කිහිපයක් පමණි.
  • එමෙන්ම පරික්ෂණය සිදුකිරිමෙන් පසුව කිසිදු විශේෂිත ප්‍රතිකාරයක් අතුරැ ආබාධයක් හෝ සංකූලතාවයක් නොමැතිව පිටව යා හැකිය.
  • පරික්ෂණය සිදුකිරිමට පෙර පැය 8 -10ත් අතර කාලයක් නිරාහාරව සිටිය යුතුය.මෙම කාලය තුල ආහාර ලබාගැනිම නිසා පරික්ෂණය තුලදි නියමිත පරිදි ආහාර මාර්ගය නිරික්ෂණය කිරිම අපහසුවන අතරම වමනය යාම වැනි සංකූලතා ඇතිවිය හැකිය.
  • ඔබ දැනට ලබාගන්නා ඖෂධ පිළිබඳව ඔබගේ වෛද්‍යයවරයා දැනුවත් කළ යුතුය. විශේෂයෙන් ලේ තුනි කරනු ලබන ඖෂධ , ඇස්ප්‍රීන් වැනි ඖෂධ ලබාගන්නේ නම්  එ පිළිබඳව කලත්යා දැනුවත් කළ යුතුය.නැතහොත් පර්ක්ෂණය තුලදි හෝ පසුව ලේ වහනයන් ඇති විය හැකිය.
  • ඔබට පවතින ආසාත්මිකතාවයන් පිළිබඳව ඔබේ වෛද්‍යයවරයා දැනුවත් කරන්න.
  •  සමහරවිට පරක්ෂණයට පෙර වෛද්‍යයවරයා විසින් ප්‍රතිජිවක  ඖෂධයන් ඔබට ලබා දිය හැකිය.
  • පරික්ෂණයෙන් පසුව අවම වශයෙන් පැය 24ක කාලයක්වත් විවේකිව සිටිය යුතු බැවින් සුදුසු ප්‍රවාහනක්‍රමයක් සලසා ගතයුතුය.
එන්ඩස්කොපි පරික්ෂණය සිදුකරනු අයුරැ.....
  • පරික්ෂණය ආරම්භයේදි උපකරණය ආහාර මාර්ගය තුලට ඇතුල් කිරිම පහසුවිම සදහා ඔබගේ උගුර ප්‍රදේශයට නිර්වින්දන ඖෂධ එක් කිරිම සිදුකරනු ලබයි.
  • පසුව පරික්ෂණය කරන ලබන කාලය තුලදි සිදුවන අපහසුතාවයන් වැළැක්විම සදහා නිද්‍රාකාරක ඖෂධයන් ලබාදෙනු ලබයි.
  • පසුව පරික්ෂණය සිදුකරනු ලබන තැනැත්තා විසින් එන්ඩස්කොපි උපකරණය ඇතුල්කොට ආහාර මාර්ගයේ ග්‍රහණිය දක්වා වු කොටස් නිරික්ෂණය කිරිම සහ පටක සාම්පල ලබාගැනිම,ලේ වහනයවන ස්ථානයන් සදහා ප්‍රතිකාර සිදුකරනු ලබයි.
  • මෙහිදි ගලනාලය,ආමාශය,ග්‍රහණිය යන කොටස්  නිරික්ෂණය කරනු ලබයි.

  • පරික්ෂණයෙන් පසුව මිනි 20-30 ක් පමණ කාලයක් පරික්ෂණාගාරය තුල රැඳිසිටිය යුතුය.


පරික්ෂණයෙන් පසුව ඇතිවිය හැකි ආසාමාන්‍යයතා මොනවාද?
සාමාන්‍යයෙන් එන්ඩස්කොපි පරික්ෂණයකින් පසුව කිසිදු විශේෂීත සංකුලතාවයක් ඇතිනොවේ.නමුත් පැය 24 පමණ වේලාවක් යනතුරැ උගුරේ සහ උදරයේ යම් අපහසුතාවයක් ,ඔක්කාරය ගතියක් ඇතිවිය හැකිය.
කලාතරකින් අවස්ථාවකදි ආහාර මාර්ග බිත්තියට හානිසිදුවිම මගින් ලේ වහනයක් සිදුවිය හැකිය.
එමෙන්ම නිර්වින්දන  ඖෂධයන් සදහා ආසාත්මිකතා ඇතිවන අවස්ථාද දක්නට ලැබේ.


පරික්ෂණයෙන් පසු පහත රෝග ලක්ෂණ ඇතිවන්නේ නම් වහාම වෛද්‍යය ප්‍රතිකාර ලබාගතයුතුය.
  • ගිලිමේ අපහසුතාවයක් පවතින්නේනම්
  • උණ තත්වයක් හටගත්තේ නම්
  • මළ සමඟ ලේ පිටවිමක් හෝ මල කළු පැහැ ගැන්වමික්
  • තදබල ලෙස පපුවේ වේදනාවක් දැනෙන්නේ නම්
පරික්ෂණයෙන් පසුව කිසිදු ගැටලුවකින් තොරව ඔබේ සාමාන්‍යය කටයුතු(ආහාර  සහ වෙනත් දෛනික කටයුතු) කරගතහැකිය.


WWW.ALBIOLOGYSINHALA.BLOGSPOT.COM

0 comments:

Post a Comment