Saturday, July 12, 2014

ජිවින් අතරින් වඩාත් කාර්යක්ෂම රැධිර සංසරණ පද්ධතියකට හිමිකම් කියන්නේ මිනිසාය.එය පෘෂ්ඨවංශී රැධීර සංසරණ පද්ධතියේ මුලික සැකැස්මෙන් පරිණාමය වු සංවෘත ද්විත්ව සංසරණ පද්ධතියකි.



මිනිස් රැධීර සංසරණ පද්ධතිය සමන්විත වන මුලික අංගයන් තුනකි.

  • රැධීර වාහිනි(Blood vessels) -- රැධීරය ගමන් කිරිම සදහා අවශ්‍යය මාර්ගය සපයනු ලබයි.
  • හෘදය(Heart)  -- රැධීර සංසරණ පද්ධතියට ජවය සපයනු ලබන පොම්පයක් ලෙස ක්‍රියාකරන පේශිමය අවයවයයි.
  • රැධීර තරලය(Blood) -- රැධීර සංසරණ පද්ධතියේ පරිවහන මාධ්‍යය ලෙස ක්‍රියාකරනු ලබයි.
මීට අමතරව දේහයේ අමතර පටක තරලය පරිවහනය කරනු ලබන වසා පද්ධතිය රැධීර සංසරණ පද්ධතියේම අංගයක් ලෙස සලකනු ලැබේ.


මෙම එක් එක් අංගයන් පිළිබදව කරැණු සලකා බලමු.
රැධීර වාහිනි (Blood vessels) ......
මිනිස් රැධීර සංසරණ පද්ධතිය තුල මුලික රැධීර වාහිනි වර්ග 3ක් දක්නට ලැබේ.
  • ධමනි (Artery) -- සිනිදු පේශී සහ ප්‍රත්‍යාස්ථ පටකයන්ගෙන් සමන්විත වඩාත් ඝනකම් බිත්තියකින් සහිත විශාල රැධිර වාහිනි වේ.ධමනි මඟින් වැඩි පීඩනයක් ඔස්සේ හෘදයෙන්ඉවතට රැධීරය පරිවහනය කරනු ලබයි.
  • ශීරා (Veins) -- දේහ පටකයන්ගේ සිට අඩු පීඩනයක් යටතේ හෘදය වෙතට රැධීරය ගෙනඑනු ලබන අඩු ඝනකමක් සහිත රැධීර නාලයන් වේ.දේහයේ මාංශපේශී මඟින් ලබාදෙන තෙරපුම මඟින් පේශී ඔස්සේ රැධීරය ඉහළට ගමන් කරනු ලබන අතර ශිරා තුල කපාට පැවතිමද මේ සදහා වැදගත් වේ. 
  • කේශනාලිකා(capillaries) -- දේහය පුරා අවයව,පටකයන් ඔස්සේ විහිදි පවතින ඉතා තුනි ඝනකමකින් යුත් (එන්ඩොතිලියමෙන් පමණක්) රැධීර නාලිකා ජාලයකි.විශේෂයෙන් රැධීරය සහ පටක තරලය අතර ද්‍රව්‍යය හුවමාරැව සදහා සකස් වි තිබේ.

හෘදයේ ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය....

හෘදය උරස් කුහරයේ මඳක් වම්පසට වන්නට පිහිටි පේශිමය බිත්තියකින් සමන්විත වන කුහරමය අවයවයකි.පිටතින් පරිකන්තුව/හෘදය පටලය ලෙස හදුන්වන පටකයකින් ආවරණය වි පවති.උරස් කුහරය තුල හෘදයට දෙපසින් වම් සහ දකුණූ පෙනහළු සහ ප්ලුරා පටලයන් දක්නට ලැබේ. ඉදිරිපසින් ඌරෝස්ථිය සහ පර්ශු මගින්ද පිටුපසින් 5 සිට 8 දක්වා වන උරස් කශේරැකා මඟින්ද ආවරණය වි තිබේ.

හෘදයේ අභ්‍යයන්තර ව්‍යුහය සැලකු විට එය වම් සහ දකුණු කර්ණීකා යුගලකින්ද කෝෂීකා යුගලකින්ද වශයෙන්  කුටිර 4කින් සමන්විත වි තිබේ.හෘදයේ දකුණූපස සහ වම්පස ආවාරයක් මඟින් සම්පුර්ණයෙන් වෙන්වි තිබෙන අතර එමඟින් ඔක්සිජන් සහිත සහ රහිත රැධීරය මිශ්‍රවිම වළක්වනු ලබයි.
කර්ණීකා සහ කෝෂීකා අතර විශේෂයෙන් සකස් වු කපාට පවතින අතර එවා පොදුවේ අන්තර් කර්ණික-කෝෂික කපාටයන් ලෙස හදුන්වනු ලබයි.මෙම කපාටයන් මඟින් කර්ණීකා වල සිට කෝෂීකා වෙත ගලන ලද රැධීරය ආපසු ගැලිම වළක්වනු ලබයි.
ද.කර්ණීකාව සහ ද.කෝෂීකාව අතර පවතින කපාටය ත්‍රි තුන්ඩ කපාටය ලෙසද ව.කර්ණිකාව සහ ව.කෝෂීකාව අතර වු කපාටය ද්වි තුන්ඩ කපාටය/මයිටල් කපාටය ලෙස හදුන්වනු ලබයි.
ද.කෝෂීකාවෙන් පෙනහළු වෙත රැධීරය ගෙනයනු ලබන පුප්ඵූසීය ධමනිය ආරාම්භ වන අතර එය පුප්ඵූසීය අඩසඳ කපාටය මඟින් පාලනය වේ.ව.කෝෂීකාවෙන් දේහය පුරා රැධීරය බෙදාහරිනු ලබන සංස්ථානික මහාධමනිය ආරාම්භ වන අතර එය මහාධමනි අඩසඳ කපාටය මඟින් පාලනය වේ.

හෘදය තුලින් රැධිරය පරිවහනය විම.....

හෘදයේ දකුණූ පසින් ඔක්සිජනිහෘත රැධීරයද වම් පසින් ඔක්සිජනිකෘත රැධීරයද ගමන්කරනු ලබයි.හෘදයේ සහ පෙනහළු අතර පවතින රැධීර සංසරණය පුප්ඵූසීය සංසරණය ලෙසද හෘදයේ සිට දේහයේ සියලුම අවයව පටකයන් වෙත පවතින රැධීර සංසරණය සංස්ථානික සංසරණය ලෙසද හදුන්වනු ලැබේ.

හෘත් පටකයන්ට පවතින රැධීර සැපයුම....
හෘත් පටකයන්ට රැධීරය සපයනු ලබන්නේ මහාධමනියෙන් පටන් ගන්නා වම් සහ දකුණූ කිරිටක ධමනියන් මඟිනි.එමෙන්ම හෘත් පටකයන් තුලින් ගමන් කරනලද රැධීරය කිරිටක කෝටකරය ඔස්සේ හෝ වෙනත් ශිරා කිහිපයක් ඔස්සේ කෙලින්ම ද.කර්ණීකාව වෙත ගෙනඑනු ලබයි.

හෘත් පටකයන්ගේ ස්නායුක පාලනය....

හෘත් ක්‍රියාකාරිත්වය පාලනය කරනු ලබන්නේ ස්වයංසාධක ස්නායු පද්ධතිය යටතේය.අනුවේගි ස්නායු රැහැන ඔස්සේ සපයනු ලබන ස්නායු මඟින් හෘත් ක්‍රියාකාරිත්වය (වේගය සහ සංකෝච්‍යයතාවය) වැඩි කරනු ලබයි.එමෙන්ම දහවන කපාල ස්නායුව මඟින් ප්‍රතයානුවේගි ස්නායු සපයන අතර එමඟින් හෘත් ක්‍රියාකාරිත්වය අඩුකරනු ලබයි. 

හෘත් සන්නායක පද්ධතිය....

හෘත් පටකයන් තුල ආවේග ජනනය කිරිම සහ සම්ප්‍රේෂණය කිරිම සදහා හෘත් පේශී පටකයන්ගෙන්ම කොටසක් විශේෂයෙන සකස් වි තිබෙන අතර මෙම පටකයන් හෘත් සන්නායක පටකයන් ලෙස හදුන්වනු ලැබේ.
හෘත් සන්නායක පද්ධතියට අයත් වන්නේ .
  • SA ගැටය -- හෘදයේ කන්තුක ගතිකරය (Pacemaker) ලෙස ක්‍රියාකරමින් හෘත් පටකයන්ගේ ආවේගයන් ජනනය කරනු ලබයි. කන්තුක ගතිකරයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය යටතේ හෘදය මිනිත්තුවට ස්ළුන්දන 60-100 ත් අතර ප්‍රමාණයක් සිදු කරනු ලබන අතර මෙය හෘදයේ සාමාන්‍ය සයිනස් රිද්මය ලෙස හඳුන්වනු ලබයි.
  • AV ගැටය -- කන්තුක ගතිකරයේ සිට පැමිණෙන ආවේගයන් හිස් ගේ කළඹ වෙත(කර්ණීකා වල සිට කෝෂීකා වෙත) යොමු කරනු ලබන අතර SA ගැටයට වඩා අඩු වේගයකින් ආවේග ජනනය කිරිමේ හැකියාව පවති. 
  •  හිස්ගේ කළඹ --වම් සහ දකුණූ ශාඛා වලට බෙදිමෙන් අන්තර්කෝෂීක ආවාරය ඔස්සේ වම් සහ දකුණු කෝෂීකා වෙත ගමන් කරනු ලබන අතර කෝෂීකා පටක වෙත ආවේග ගෙන යනු ලබන පාලමක් ලෙස ක්‍රියාකරයි.
  • පර්කින්ජේ තන්තු -- කෝෂීකා බිත්තියේ සැම අස්සක් මුල්ලක් නෑරම ව්‍යාප්ත වෙමින් කෝෂීකා වෙත ආවේග ගෙන යනු ලබයි.
(සැ.යු - මෙතැන් සිට ඉදිරිපත් කරන විෂය කරැණූ ව්‍යුහගත හෝ රචනා ගැටළුවක් සදහා යොදාගත හැකි බැවින් පුර්ණ වශයෙන් දැනසිටිය යුතුය)

හෘත් චක්‍රය (Cardiac cycle) ........

එක් හෘද ස්ළුන්දනයක් සම්පුර්ණ වන කාලය තුලදි හෘදයේ සිදුවන අනුක්‍රමික සිදුවිම් මාලාව හෘත් චක්‍රයක් ලෙස හදුන්වනුලබනවා.
හෘත් චක්‍රයක් තුලදි සිදුවන මුලික ක්‍රියාවලින් ...
  • කර්ණීකා ආකුංචය --කර්ණීකා සංකෝචනය මඟින් රැධීරය කර්ණීක-කෝෂීකා කපාටයන් ඔස්සේ කෝෂීකා වෙතට රැධීරය නිදහස් කිරිම
  • කෝෂීකා ආකුංචය --කෝෂීකා සංකෝචනය මඟින් අඩසද කපාටයන් ඔස්සේ රැධීරය මහාධමනිය සහ පුප්ඵූසීය ධමනිය වෙතට  නිදහස් කිරිම
  • පුර්ණ හෘත් විස්තාරය -- කරණීකා සහ කෝෂීකා ඉහිල්විම මඟින් හෘදය තුලට රැධීරය එක්රැස්විමට සැලැස්විම.මෙම විස්තාරණ කාලය තුලදි කීරිටක ධමනි රැධීර සංසරණය උපරිම අගයක පවති.


හෘත් කන්තුක රේඛා සටහන (ECG) .......

හෘත් ක්‍රියාකාරිත්වයේදි  සිදුවන විද්‍යත් විභව වෙනස්විම් දේහයේ පිටත පෘෂ්ඨයේ සවිකරන ලද ඉලෙක්ට්‍රෝඩයන් මඟින් විශේෂීත කඩදාසියක් හෝ තිරයක් මත සටහන් විමට සැලැස් වු විට එයට හෘත් කන්තුක රේඛා සටහනක් යයි කියමු.


වැඩිදුර අධ්‍යයනය කිරිම සදහා පහත Power-point ඉදිරිපත් කිරිම භාගත කරගන්න.
භාගත කිරිම සදහා පහත ලින්කුව භාවිත කරන්න.
මිනිසාගේ රැධිර සංසරණ පද්ධතිය

0 comments:

Post a Comment