Friday, November 7, 2014

ප්ලිහාව (Spleen) යනුවෙන් හදුන්වනු ලබන්නේ දේහයේ වසා පද්ධතියට අයත්වන ක්‍රියාකාරි වසා අවයවයකි.වසා ගැටිත්තකට වඩා ප්‍රමාණයෙන් විශාලවන නමුත් ඊට සමාන අයුරකින් ක්‍රියා කරමින් දේහයේ ආරාක්ෂණ යාන්ත්‍රණයන් සදහා වැදගත් මෙහෙයක් ඉටු කරනු ලබයි.



උදර කුහරය තුල ප්ලිහාවේ පිහිටිම හදුනා ගනිමු.....

ප්ලිහාව උදර කුහරයේ වම් පසට වන්නට 9 සිට 12 වන තෙක් පිහිටි පර්ශු වලින් ආවරණය වි පවති.ආමාශයට පිටුපසින් සහ තීර්යයක් මහාන්ත්‍ර ප්‍රදේශයේ විදුර කෙළවරට ඉහළින් සහ වම් වෘක්කයන්ට ඉහළීන් සහ පාර්ශවිකව පිහිටි 150g පමණ ස්කන්ධයක් සහිත 11cm පමණ දිගින් යුත් මෘදු අවයවයකි.

ප්ලිහාවේ ප්‍රධාන කෘත්‍යයන් වනුයේ.....
  • ප්ලිහාව මඟින් නිපදවන සුදු රැධිර සෛලයන්ගේ භක්ෂක සෛල ක්‍රියාකාරිත්වය මඟින් රැධීරය වෙත පැමිණෙන ව්‍යාධීජනක ක්ෂුද්‍රජිවින් සහ හානිකර ප්‍රතිදේහජනකයන් සහ මියයන පටක කොටස් ආදිය බිඳ හෙලිම සිදු කරනු ලබයි.
  • අසාමාන්‍යය රැධීර සෛලයන් (වයස්ගත වු) සහ අසාමාන්‍යය ක්‍රියාකාරිත්වයක් සහිත ආගන්තුක ද්‍රව්‍යයන් බිද හෙලිම මඟින් රැධීරය පිරිසිදු කරනු ලබයි.
  • ප්‍රතිදේහ නිපදවිම සදහා වැදගත් වන වසා සෛලනිපදවිම සිදුකරනු ලබයි.
  • කළල අවධිය තුලදි දේහයට අවශ්‍යය රැධිර සෛල නිපදවිම සිදුකරන මුලික අවයවයක් ලෙස ක්‍රියා කරනු ලබයි.
  • දේහයේ නිපදවන රතු රැධීර සෛලයන්ගෙන් 8% ක් පමණ ප්ලිහාව තුල අන්තර්ගත වන බැවින් රතු රැධිර සෛල සංචාකයක් ලෙසද ක්‍රියා කරනු ලබයි.
නීරෝගි පුද්ගලයකුගේ ප්ලිහාව සාමාන්‍යය උදර පරික්ෂාවක් මඟින් පිටතින් ස්පර්ශ කළ නොහැකි වේ.නමුත් ප්‍රමාණයෙන් විශාල වු ප්ලිහාවක් උදර පරික්ෂාවක් මඟින් වෛද්‍යයවරයකුට පහසුවෙන් හදුනාගත හැකිය.


ප්ලිහාව ඉදිමිම (Splenomegaly)......

වෛද්‍යයවිදයාත්මක අර්ථකතනයන්ට අනුව ප්ලිහාව 400-500g යන ප්‍රමාණයකට වඩා ස්කන්ධයෙන් වැඩිවිම ප්ලිහාව ඉදිමිමක් ලෙස හඳුන්වනු ලබයි.මැලේරියාව,තැලසීමියාව වැනි රෝග තත්වයකදි ප්ලිහාව 1000g ප්‍රමාණයකටත් වඩා විශාලවිමක් සිදුවිය හැකිය.


ප්ලිහාවේ සිදුවන විශාලවිම සෑමවිටම එහි රෝගි තත්වයක් ලෙස සැලකිය නොහැකි අතර සිය සාමාන්‍යය ක්‍රියාකාරිත්වය පවත්වා ගැනිම සදහා අවශ්‍යය කායවිද්‍යාත්මකව සකස්විමේ ප්‍රතිළුලයක් ලෙස දැක්විය හැකිය.එවැනි අවස්ථා කිහිපයකි.
  • ආසාදන අවස්ථාවකදි ක්ෂුද්‍රජිවින් සහ ප්‍රතිදේහජනකයන්ට එරෙහිව ප්‍රතිචාර දැක්විමේ ප්‍රතිළුලයක් ලෙස (mononucleosis වැනි වෛරස් ආසාදන අවස්ථාවලදි,toxoplasmosis,වැනි පරපෝෂිත අසාදනයන්වලදි,endocarditis වැනි බැක්ටිරියා ආසාදන තත්වයන් වලදි)
  • අසාමාන්‍යය රතු රැධීර සෛලයන් බිදහෙලිම සදහා (තැලසීමියාව,සහ spherocytosis)
  • සාමාන්‍යය පරිදි රතුරැධීර සෛල නිපදවිම සදහා (ඇටමිදුළු සම්බන්ධ රෝග තත්වයන් ,මැලේරියාව)
  • ප්‍රතිදේහ නිපදිවිම සදහා (SLE,mononucleosis වැනි වෛරස් ආසාදන වලදි)
එමෙන්ම විශේෂිත ප්ලිහාව සම්බන්ධ විශේෂිත රෝග තත්වයන්ගේ ප්‍රතිළුලයක් ලෙස ප්ලිහාව ඉදිමිම සිදු වේ.
  • අක්මාවේ සීරෝසිස් වැනි රෝග තත්වයන්හි සංකූලතාවයක් වශයෙන්
  • ලියුකේමියා වැනි සුදුරැධිර සෛල ආශ්‍රැත පිළිකා තත්වයන් වලදි
  • Lymphoma වැනි වසා පද්ධතිය ආශ්‍රැත පිළිකා තත්වයන් වලදි
  • ප්ලිහාවේ ද්විතික පිළිකා තත්වයන් වලදි
  • ප්ලිහාවේ විවිධ බැක්ටීරියා ආසාදනයන්ගේ ප්‍රතිළුලයක් ලෙස ඇතිවන සැරව පිරි කෝෂ්ඨ (abcess/cyst) සැදිම නිසා
  • සමහර ඖෂධ වර්ග මඟින් (RhoGAM)
ප්ලිහාව ඉදිමිම නිසා රැධිරය සම්බන්ධ විශේෂිත තත්වයන් කිහිපයක් දැකිය හැකිය.
  • නිරක්ති තත්වයක්
  • සුදුරැධීර සෛල මට්ටම අඩුවිම
  • පට්ටිකා ප්‍රමාණය අඩුවිම (පට්ටිකා ප්‍රමාණයෙන් 30% ක් පමණ ප්ලිහාව තුල එක්රැස්වි පවති)
එමෙන්ම උදරයේ අපහසුතාවය ,වේදනාව,පිරැණුබව වැනි රෝග ලක්ෂණයන්ද දැකිය හැකි වේ.
ප්ලිහාව අසාමාන්‍යය ලෙස ඉදිමිම නිසා උදරයට සිදුවන අනතුරැ වලදි ප්ලිහාවට අනතුරැ සිදුවිම සහ එමඟින් විශාල රැධිරවහනයක් සිදුවිම වැනි තත්වයන් ඇතිවිය හැකිය.

ප්ලිහාව ඉදිමිම සදහා වන ප්‍රතිකාර කවරේද?

ප්ලිහාව ඉදිමිම සහ එමඟින් හටගන්නා සංකුලතාවයන් තීරණය කරනු ලබන්නේ එ සදහා හේතුවන රෝග තත්වයේ ස්වභාවය අනුවය.
මුල් රෝග තත්වය සදහා සාර්ථක ලෙස ප්‍රතිකාර කිරිම මඟින් ප්ලිහාවේ විශාලවිම සාමාන්‍යය තත්වයකට හරවාගත හැකිය.
නමුත් සමහර රෝග තත්වයන් වලදි ප්ලිහාව ඉවත් කිරිම (Splenectomy) අත්‍යාවශ්‍යය වේ.                                  
උදා- spherocytosis,තැලසීමියාව,පට්ටිකා අසාමාන්‍යය ලෙස බිද වැටිමකදි
ප්ලිහාව ඉවත් කිරිමෙන් පසු ඉන් දේහයට ලැබෙන ස්වභාවික ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය නොලැබෙන බැවින් විවිධ ආසාදනයන්ට ලක්විම සදහා වන ප්‍රවණතාවය වැඩි වේ.විශේෂයෙන් කැප්සියුලයක් සහිත බැක්ටීරියා (streptococcus pneumoniae,haemophilus වැනි) ආසාදනයන්ට ලක්විම සිදුවේ.එබැවින් ප්ලිහාව ඉවත්කරන ලද රෝගින් මේ සදහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගත යුතුය.



4 comments: