Thursday, May 21, 2015

හැදින්වීම"
ජෛව විද්‍යාත්මක වර්ගීකරණයට අනුව සර්පයින් Animalia රාජධානියේ (kingdom) Chordate  සත්ත්ව වංශයට (phylum) අයත් වෙනවා.  Chodata  වංශයේ  Vertebrae  නම් උප වංශයේ (sub phylum) Reptilia නම් වර්ගයට (class) සර්පයින් නැවත වර්ගීකරණය කරන්න පුලුවන්.

සර්පයින්ට කශේරුකාවක් සහ කපාලයක් සහිත අස්ථිමය සැකිල්ලක්  පිහිටා තියෙනවා. ඒ වගේම දේහයේ එක් කෙලවරක පැහැදිලිව සංවිධානය වූ හිසක් තිබීමත් පොදු ලක්ෂණයක් විදිහට සලකන්න පුලුවන්.  සර්පයින් සංචරනයේ යෙදෙන්නේ උපස්තරයට සමාන්තරව දේහය නමා ගෙනයි. සර්පයෝ බඩ ගා ගෙන යනවයි කියලනේ ඔය කියන්නේ..
දේහයට පිටතින් සම මත කොරල වැස්මක් තිබීමත්, ග්‍රන්ථි රහිත වියළි සමක් තිබීමත් මෙම සත්ව කාණ්ඩයට පොදු ලක්ෂණ ලෙස හදුන්වන්න පුලුවන්.
අපිට නම් කුටීර හතරක හදවතක් තිබුනට සර්පයින්ට තියෙන්නේ  කුටීර තුනකින් යුක්ත හෘදයක්. ඒ වගේම එයාලගේ හෘදයේ වම් සහ දකුණු සංස්ථානික වක්‍ර පිහිටනවා.  අපිට වගේම සංවෘත රුධිර සංසරණයක් තමා එයාලටත් තියෙන්නේ.
සර්පයින්ගේ සංවේදන අවයව, ඒ කියන්නේ බාහිර පරිසරයෙන්   තොරතුරු ලබා ගන්නා ඉන්ද්‍රියන්, විදිහට ඇස්, නාසය, සම සහ දිව හදුන්වන්න පුලුවන්. ඒ වගේම මෙයාලට හොද තියුණු ඇස් දෙකක් තියෙනවා. නමුත් සර්පයිනට අපිට වගේ ඇස් වටා ඇසි පිය නම් නැහැ. ඒ නිසා ඇස් පරිසරයට නිරාවරණය වි පවතී. ‌මෙම නිසා ඇස් වලට සිදුවන හානි අවම කර ගැනීම ස‌‌ඳහා විනිවිද ‌පෙ‌නෙන ‌කොර‌පොතිතකින් ඇස් ආවරණය වෙලා තමයි පවතින්නේ.
කොච්චර තියුනු ඇස් දෙකක් මෙයාලට තිබුනත් බො‌‌හෝ සර්පයින්ට වර්ණ හදුනාගැනී‌මේ හැකියාවක් ‌නොමැත.
ජම්බාලි විවරය ශරීරයේ පසුපස කොටසේ හරස් අතට පිහිටා තිබීම මෙම සත්ව කාණ්ඩයට පොදු ලක්ෂණයක්.  ඒ වගේම සර්පයෝ කියන්නේ චලතාපී සතුන් කොට්ඨාශයක්.

අන්ඩජ මෙන්ම අන්ඩ ජලාබුජ යන ආකාර දෙකෙන්ම  සර්පයින්ගේ බෝවීම සිද්ධවෙනවා. අන්ඩජ කියන්නේ බිත්තර වලින් පැටවු බෝවීම කියලා ඔයාලා දන්නවා ඇතිනේ. අන්ඩ ජලාබුජ කියන්නේ අර්ධ ලෙස විකසනය වෙච්ච පැටවු බිහිකරනවයි කියන එකනේ.පිඹුරා තමයි අන්ඩ ජලාබුජ ලෙසට පැටවු බිහි කිරීම සිදු කරන්නේ. 

මොවුන්‌ගේ ප්‍රධාන ආහාර ‌ලෙස මීයන් හූනන් වැනි කුඩා ක්ෂීරපායින් මත්සයින් ‌ගෙම්බන් උභය ජීවීන් කුඩා කෘමීන් දැක්විය හැක.
‌මොවුන් මාංශ භක්ශක වි‌ලෝපිකයින්වේ.ගොදුරු අල්වා ගැනී‌මේදී  සමහ‌රෙක් විෂ භාවිතා කරයි.සමහ‌රෙක් ‌ගොදුරු වටා ‌වෙලා ‌ගෙන ‌ගොදුර අක්‍රිය කිරීම සිදු කරයි.
ආහාරයට ගැනීමට ‌පෙර ‌මොවුන් ‌ගොදුර අක්‍රිය කරයි. පරණවූ‌ගොදුරු ආහාරයට ගැනීම ප්‍රිය ‌නොකරයි.

උඩ හනු‌වේ දත් පිහිටා ඇත. වක්වූ දත් හා මාංශ ‌පේශි වලින් යුත් මුඛය ඔවුන්‌ගේ ප්‍රමාණයට වඩා විශාල ‌ගොදුරු ආහාරයට ගැනීමට උපකාර‌‌වේ. රසායනික සංඥා ‌ගොදුරු අල්වා ගැනීමට උපකාර‌‌වේ.

"සර්පයින්ගේ විවිධත්වය"
සර්ප විශේෂ 2900 කට අධික ප්‍රමාණයක් ලොව පුරා විසිරිලා ඉන්නවා. ඇන්ටාටිකාව හැරුනු කොට අන් සියලුම මහද්වීප වලින් සර්පයින් මුණ ගැහෙනවා. ගැඹුරු මුහුදු පතුලේ වගේම 5000m කට වඩා උස්වූ කදුමුදුන් වලද මොවුන් දිවි ගෙවනවා. කොහොම වුනත් අයර්ලන්තය වගේ සර්පයින්ගෙන් තොර වූ දූපත්ද ලොව පුරා වාර්තා  වෙනවා.

ලෝකය පුරා ජීවත් වෙන බොහෝ සර්පයින් සාමාන්‍යයෙන් 1m පමණ දිගකින් යුක්ත කුඩා සතුන් වුනත් 9m පමණ දිගකට වර්ධනය වන රෙටිකියුලේටඩ් පිඹුරාගේ (Reticulated python) පටන් 10cm පමණ කෙටි වූ ශරීරයක් දරන Leptotyphlops carlae දක්වා පුලුල් පරාසයක මොවුන්ගේ ශරීර ප්‍රමාණ විසිරී පවතී. එසේම 100kg ආසන්න ස්කන්ධයකින් හෙබි කොළ ඇනකොන්ඩා (green anaconda)වැනි සර්පයින්ද ලොව ජීවත් වෙනවා.
ජෛවිවිධත්වය අතින් පොහොසත් ශ්‍රී ලංකාව තුළ සර්ප විෂේශ 101 පමණ දක්නට ලැබේ. මේ අතරින් විෂ සහිත සර්පයින් දක්නට ලැබෙන්නේ සුලු සංඛ්‍යාවක් පමණයි.

සර්පයින් යනු  ජෛව ගෝලයේ සමතුලිතතාවය පවත්වාගෙන යාම සදහා අවශ්‍යය වන තවත් එක් සත්ත්ව කොට්ඨාශයකි. . නමුත් ඇතැම් පුද්ගලයින් සර්පයින් දුටු විට ඔවුන් මරා දැමීමට පෙලඹීම කණගාටුවට කරුණකි. මීට අමතරව වන විනාශය වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්  සර්ප විශේෂ බොහොමයක් වද වීමේ තර්ජනයකට මුහුන පා ඇත. සර්ප දෂ්ඨනයෙන් මිනිසුන්ට හානි සිදුවනවා මෙන්ම ඔවුන්ගෙන් අපට ලැබෙන ප්‍රයෝජනද ඇත.

"සර්ප විෂ සහ විෂ ග්‍රන්ථි"
සර්පයින්‌ගේ විෂ නිපදවන්‌නේ හි‌සෙහි ඇසට පිටුපසින් පිහිටලා තියෙන ග්‍රන්ථි තුළයි. ‌මෙම ග්‍රන්ථි ප්‍රධාන  ආකාර ‌දෙකක් තියෙනවා.

1.     ඩුව‌නොයි  (Duvernoy gland)

2.   සත්‍ය විෂ ග්‍රන්ථි ‌(Venom gland)

මෙම ග්‍රන්ථි තියෙන්නේ මාංශ ‌‌‌පේශි  වලින් ආවරණය වෙලයි. අවශ්‍ය වෙලාවට  ග්‍රන්ථී සං‌කෝචනය කරලා විෂ නිකුත් කිරීම මාංශ ‌පේශි මගින් සිදු‌‌ වෙනවා.

‌ ඕනෑම සර්පයෙක් ගොදුරට ‌හෝ සතුරාට විශ නිකුත් කරනු ලබන්‌නේ විෂ දළ මගිනි. සර්පයා දෂ්ඨ කරන වෙලාවට විෂ ග්‍රන්ථි තුළ තියෙන විෂ, නාළයක් ඔස්‌සේ පිටතට ඇවිල්ලා ගොදුරට ඇතුලු වෙනවා. විෂ රහිත සර්පයින් සතුව දළ ‌නොපිහිටියත් දත් පිහිටලා තියෙනවා. දළ වල පිහිටීම හා ස්වාභාවය අනුව  සර්පයින් ප්‍රධාන කොටස් හතරකට වර්ග කරනවා.

Aglypha-  දළ පිහිටා නැත. දත් හා තද හකු ඇත. විෂරහිතයි.

Opisthoglypha-  පිටුපසින් පිහිටි ‌කෙටි දළ ඇත. සුලු විෂ සහිතයි. 

Proteroglypha-- පූර්ව‌යේ පිහිටි දළ ඇත. ( නයා, කරවලා, මුහුදු නයින්)

Solenoglypha  -- පූර්ව‌යේ පිහිටි  ‌සෙළවිය  හැකි දළ ඇත.( තිත් ‌පොළගා)


සර්ප විෂ කියන්නේ විෂ ග්‍රන්ථි වලින් නිපද‌වෙන ද්‍රාවනයක්. ‌මෙහි වියළි බරින් 90% ක් විතර ප්‍රමාණයක්ම තියෙන්නේ ‌ප්‍රෝටීන. මේ ප්‍රෝටීන අතරින් බහුතරය එන්සයිම. ‌සර්ප විෂ කියන්නේ ඉතා සංකීර්ණ ද්‍රාවනයක්.  ‌මෙහි තියෙන විවිධ සංඝඨක විවිධ ප්‍රතික්‍රියාවන් සිදු කරනවා. ‌මෙය ‌බො‌හෝ විට ජලයට වඩා ඝනත්ව‌යෙන් වැඩි කහ දුඹුරු වර්ණ‌යෙන් යුක්ත ද්‍රාවනයකි. 

‌සර්ප විෂ තුළ අඩු අනුක භාරයක් සහිත ‌‌පොලි‌පෙප්ටයිඩ අඩංගු ‌වෙනවා. ‌ විද්‍යාඥයින් විසින් ‌මේ වන විට ‌‌සර්ප විෂේ අඩංගු එන්සයිම වර්ග 30 ක් පමණ සොයා‌ගන්න සමත් වෙලා තියෙනවා. ඒවා අතර ‌ප්‍රෝටි‍‌යස් හයලු‌රොනි‌ඩේස් ‌පොසි‌පෙලි‌පේස් ඊස්ට‌රේස් නියුක්ලි‌යෝටයි‌ඩේට් ‌ලෙසිති‌නේස් ප්‍රධාන ‌වේ.

ශරීරයට හානි සිදු කරන ආකාරය අනුව විෂ ප්‍රධාන වර්ග 6 කට ‌බෙදා දැක්විය හැක.

1.   Haematoxins--රුධිර සංසරණ පද්ධතියට හානි කරයි.

2.   Neurotoxins--ස්නායු පද්ධතියට හානි කරයි.

3.   Nphrotoxins -- බහිස්‍රාවී පද්ධතියට හානි කරයි.

4.   Cardiovascular toxins--හෘදයට හානි කරයි.

5.   Myotoxins--පේශි පද්ධතියට හානි කරයි

6.   Endocrine toxins --අන්තරාසර්ග(‌හෝ‌මෝන) පද්ධතියට හානි කරයි.
Haematoxins වල රුධිරය කැටි ගැසීම වළක්වන එන්සයිම වර්ග අඩංගු ‌‌වෙනවා. එම නිසා රුධිරය කැටි ගැසීමට ගතවන කාලය වැඩි ‌කරනවා. සමහර සංඝඨක රතු රුධිරානු වල ‌ෙ‌සෙල පටල විනාශ කරනවා.

Neurotoxins වල තියෙන  Phospholipase A2  කියන සංඝඨකය ස්නායු අන්තයන් වලට හානි කරනවා. ඒ වගේම ස්නායු සම්‌ප්‍රේශකයක් වන ඇසිටයිල් ‌කෝලින් නිදහස් කිරීමට බාධාකරලා උපාංගමය හරහා ආ‌වේග සම්‌‌‌ප්‍රේශණයට බාධා පමුනුවනවා. ‌මෙහි අඩංගු සමහර සංඝඨකයන් ‌මොළ‌යේ ක්‍රියාකාරිත්වය ‌වෙනස් කිරීමට සමත් වන බව ‌සොයා‌ගෙන තියෙනවා.

   Nphrotoxins වකුගඩු අක්‍රිය කිරීම සිදු කරනවා.  මෙම වි‌ෂෙහි තියෙන ‌ප්‍රෝටි‌යේස් මගින් සපා කෑ ස්ථාන‌යේ බාහිර පටක විනා ශ කරනවා.

කළළ අවස්ථා‌වේ දී පවා සර්පයින් සතුව විෂ පවතින නිසා සපා කෑ සර්පයා කුඩා අ‌යෙකු වුනත් සපා කෑ විගසම නිසි ප්‍රථිකාර ගැනීම කරන්න ඕනි. සර්ප විෂ වලින් මිනිසාට හානි සිදුවෙනවා වාගේම එයින් අපි ලබා ගන්න වාසිත් ගොඩක් තියෙනවා. 

"සර්ප දෂ්ඨනවලින් වැලකි සිටිමු"
සර්ප දෂ්ඨන වලින් 70% පමණ  සිදුවෙන්නේ පාදයේ වලලුකරෙන් පහල කොටසේයි. මේ නිසා අවදානමක් සහිත ප්‍රදේශ වල ගමන් කිරීමේදී විමසිලිමත්ව ගමන් කිරීම. හැකියාවක් තියෙනවානම් බූට්ස් පැළද යාමත් හොද ආරක්ෂිත ක්‍රියාමාර්ගයක්. මෙතනදී මම අවදානම්  ප්‍රදේශ කියලා හැදින්වූයේ උසට වැඩුනු තණකොළ, පදුරු තියෙන  ප්‍රදේශ වගේම වනාන්තර වගේ මාර්ගය හොදින් පේන්නැති මාර්ග.
 ඒ වගේම රාත්‍රී කාලයට ගමන් යන විට විදුලි පන්දමක් හෝ සුදුසු ආලෝකයක් රැගෙන යාම අනිවාර්යෙන්ම කරන්න ඕනි දෙයක්. එසේම ලී කැබැල්ලකින් පොළවට තට්ටු කරමින් යන එකත් සර්ප දෂ්ඨනයෙන් වැලකී සිටිමට උපකාර වෙනවා. සර්පයින්ට කන් ඇහුනේ නැත් වුනාට ගමන් කරන පෘෂ්ඨය දිගේ පැමිනෙන ශබ්ද තරංග වලට ප්‍රතිචාර දැක්විය හැකි නිසා ඔවුන් මාර්ගයෙන් ඉවත් වෙනවා.
සර්පයින් ගොඩක් වෙලාවට දවල් කාලයේ  ගස් බෙන, හුඹස් , ගල් අතර වගේම පොළවේ ඇති විවර වල හැංගිලා ඉන්නවා. මේ නිසා මේවා තුළට අත දැමීමෙන් වැලකිලා ඉන්න ඕනි. එහෙමත් නැත්නම් කෝටු කැබැල්ලක් වැනි දෙයක් උපයෝගීකරගෙන ඉතාමත් ප්‍රවේශමෙන් කරන්න ඕනි.
කැලෑ එළි පෙහෙලි කිරීම, තෘණ කැපීම වැනි ක්‍රියා වල යෙදී ඉන්න කොටත් සර්ප දෂ්ඨනයන්ට ලක්වීමේ අවදානමක් තියෙන හින්දා ප්‍රවේශමෙන් එම ක්‍රියාවල නිරතවීම වැදගත්.
අපේ රටේ ග්‍රාමීය ප්‍රදේශ වලින් ගොඩ ගසා ඇති දර ගොඩවල් වලින් දර ගැනීමේදී හා දර එකතු කිරීමේදී සිදුවෙන සර්ප දෂ්ඨනයන් නිරන්තරයෙන් වාර්තා වෙනවා. මේ හින්දා එවැනි ක්‍රියා වල නිරතවෙන කොට තරමක් අවධානයෙන් ප්‍රවේශමෙන් කටයුතු කිරීමෙන් එවැනි අනතුරු වලින් බේරෙන්න පුලුවන්. 

තමන්ගේ නිවාස ආශ්‍රිතව එළි පෙහෙලි කරලා කුණු ගොඩවල් ඉවත් කරලා පිරිසිදුව තබා ගන්න එක. එතකොට කැලෑවල ඉන්න සර්පයෝ නිවාස ආශ්‍රයට පැමිනීම අඩුවෙනවා. බොහෝවිට මේ කුණුගොඩවල් වල මීයන් වගේ සත්තු ජීවත් වෙන හින්දා සර්පයින් ඔවුන්ව ආහාරයට ගන්න නිවාස අසලට පැමිනෙනවා. මේ වගේ අවස්තාවල මිනිසුන්ට පහරදීම් සිදුවෙන්න පුලුවන්.
 කුඩා ළමයි සෙල්ලම් කරන කොට සර්ප දෂ්ඨනයන්ට ලක්වුන අවස්ථා වාර්තා වෙනවා. මේ හින්දා දෙමාපියන් ඒ පිළිබදව අවදානයෙන් සිටීමත් වැදගත් වෙනවා. විෂේශයෙන්ම කැලෑ සහිත ප්‍රදේශ වල ළමුන් සෙල්ලම් කිරීමේ දී ප්‍රවේශම් වෙන්න ඕනි.
මැරුනු  විෂ සහිත සර්පයින්  ඇල්ලීමෙන් වැළකී සිටීමත් වැදගත් කරුනක්, සමහර සර්ප විෂේශ තම විලෝපිකයින්ගෙන් ආරක්ෂාවෙන්න මැරුන විදිහට ඉන්න අවස්ථා දැක ගන්නත් පුලුවන් ඉතින් මේ වගේ වෙලාවක අපි සර්පයව ඇල්ලුවොත් සර්පයා අනිවාර්යෙන්ම අපිට පහර දෙනවා.
විෂ සහිත වෘක්ෂවාසී සර්ප විෂේශත් සිටින නිසා ගස් නැගීම, ගස් වල අතු කැපීම වගේ වැඩ වලදීත් ප්‍රවේශම් වීම වැදගත්.
මුහුදු සර්පයින් නිසා සිදුවෙන දෂ්ඨ කිරීම් කාලාතුරකින් වාර්තා වුවත් මුහුදු සර්පයෝ කියන්නේ උග්‍ර විෂ සහිත සර්ප විෂේශ නිසා ප්‍රවේශම් වීම බොහොම වැදගත්. මේ අවදානම වැඩිපුරම තියෙන්නේ ධීවරයන්ට. ධීවරයින් තම මාලු දැල් වලට අහුවෙන සර්පයින් ඉවත් කිරීමට යාමේදී ඔවුන්ගේ දෂ්ඨනයන්ට ලක්වෙන්න පුලුවන්, මේ නිසා වඩාත් ආරක්ෂාකාරීව කටයුතු කිරීම වැදගත්. 

"සර්ප දෂ්ඨනයකදී ලබා දිය හැකි ප්‍රථමාධාර"
සර්පයෙකු විසින් දෂ්ඨ කළ සෑම විටකම අනිවාර්යෙන්ම නිවැරදි ප්‍රථමාධාර ලබා දෙන්න ඕනි. 
ප්‍රථමාධාර ලබා දීමේ ප්‍රධාන අරමුනු තමයි, විෂ ශරීරය පුරා පැතිරීම වැලැක් වීම. මේක බොහොම වැදගත් කාරණයක්, මොකද සර්ප දෂ්ඨනයකදී වැඩිපුර අනතුරු සිදුවෙන්නේ විෂ ශරීරය පුරා පැතිරිලා ගියොත් තමයි. ඒ වගේම දෂ්ඨ කිරීම නිසා හට ගන්නා අතුරු ආබාධ හැකිතාක් දුරට අඩු   කිරීමත් මේ ප්‍රථමාධාර වල තවත් අරමුණක්.
 ඒ වගේම වැරදි ප්‍රථමාධාර විධි නිසා සිදුවෙලා තියෙන හානිය තවත් වැඩි වෙන්න පුලුවන් කියන එකත් මතක තියා ගන්න ඕනි. ඒ නිසා අපි කවුරුත් නිවරදි ප්‍රථමාධාර විධි ගැන දැනුවත් වෙලා ඉන්න එක හොදයි කියලා තමයි මම නම් හිතන්නේ.
ඕනිම සර්පයෙක් දෂ්ඨ කළාම ඕනෑම පුද්ගලයෙක් තුළ බියක් ඇතිවීම සාමාන්‍යය දෙයක්.  පලවෙනි වගේම වැදගත් දේ තමයි ප්‍රථමාධාර ලබා දෙන පුද්ගලයා බිය නොවී ඉන්න එක. අනිත් අයත් රෝගියා බිය කරන එක නතර කරන්න ඕනි. මොකද කිව්වොත් බය වුන ඕනිම වෙලාවක අපේ හෘද ස්පන්දන වේගය වැඩිවෙනවා කියලා ඔයාලා දන්නවනේ. ඉතින් හෘද ස්පන්දන වේගය වැඩි වුනාම ශරීරය තුළ රුධිර ගමනා ගමන වේගය වැඩි වෙනවා. එතකොට දෂ්ඨ කළ ස්ථානයෙන් ශරීරයට ඇතුලු වුන විෂ ශරීරය පුරා ගමන් කරන වේගය වැඩි වෙනවා. ඒ හින්දා බිය තුරන් කිරීම ප්‍රථමාධාර දීමේදී ඉතාමත් වැදගත් වෙනවා. බිය නැති කිරීම  පහත දක්වලා තියෙන කරුනු රෝගියාට පැහැදිලි කරලා දීමෙන් බොහෝ දුරට කරන්න පුලුවන්.
ඒ වගේම දෂ්ඨනය සිදු වූ ස්ථානය ගලා යන ජලයෙන් සෝදා හැරීමෙන් කල යුතුය.එමෙන්ම දෂ්ඨනය සිදු වූ ස්ථානයට එහලින් bandage පටි වැනි දෑ යොදා ගනිමින් තදින් බැදීම වැනි දෑ සිදු නොකළ යුතු අතර රෝගියා හැකි එක්මනින් රෝහල වෙත රැගෙන යා යුතුය.

Next
This is the most recent post.
Previous
Older Post

1 comments: